Social Icons

Featured Posts

Wednesday, December 2, 2015

“ගෙදර යන ගමං”





පසුගිය දිනක සවස මම, “ගෙදර යන ගමං”  බඩු ගැනීමට ඇති සුපිරි වෙළද සලකට ගොඩ වුයේ ඒ අසල වෙන යාමට කඩයක් නොතිබූ හෙයිනි. නානාප්‍රකාර බඩු පිරවූ රාක්ක අතරින් ඉදිරියට යන අතර ඉදිරියෙන් තිබූ දර්ශනයක් මගේ නෙත ගැටුණි.වැදගත් ලෙසට ඇඳ පැළඳ  ගත් මගේ වයසට සමාන වයසේ තරුණයෙකි. ඔහුගේ එක් අතක එල්ලෙමින් තිබුනේ මෝටර් රථයක යතුරකි. අනික් අතේ එල්ලී තිබුනේ බහු රූ කෝලමකි. මම බහු රූ කෝලමේ පහල සිට ඉහලට නෙත ගෙන ගියෙමි. පොළවට වඩා අඟල් 6 ක් පමණ උස පාවහන් යුවලකි. තුනී ඇඟටම හිර වු පාට පාට මල් වැටුණු  සුදු  දිග කලිසමකි. පසුගිය වසරේ ආච්චි අම්මාට මා අරන් දුන් චිත්ත රෙද්ද මට සිහි වුයේ ඉබේටමය. ඇය ඉනෙන් උඩට ඇඳ සිටි ඇඳුමට කියන නම මා දන්නේ නැතත් ඇදුමෙන් වසා ගැනීමට අපොහොසත් වු ලැම තරමකට හෝ ආවරණය වී තිබුනේ ඈ ඇඳුමේ එල්ලා ගෙන තිබූ අව් කන්නාඩිය නිසා බව නම් කිව යුතුය. නියපොතු 10ට පාට 10ක් ගා තිබූ අතර ඇගේ අවලස්සන නිරුවත් පිට ආවරණය වී තිබුනේ වනා දමා තිබූ මලකඩ කෑ කොන්ඩයෙනි. තම්බපු ඉස්සෙක් තරමට සුදුමැලි මුහුනේ රතු පාටින් පාට කරන ලද දෙතොල නම් කැපි පෙනුනි. ඇහි බැම  උගුලා කන් පෙති දෙකට ට්‍රසල් 2ක් එල්ලා තිබුනේ වෙස් මුහුණක අසිරිය මුහුණට කැන්දමිනි. ගමේ ගොඩේ කාන්තාවන්ගේ දිය රෙද්ද මිට වඩා කොතරම් සංවර දැයි මට සිතුනි.

තරුණියගේ අතේ ඇති කූඩයේ ඇති බඩු ඇයට එතරම් බරක් නොවුවත් අසරණ තරුණයාටනම් මහා බරක් වී ඇති බවක් පෙනේ.

“දැන් ඇති නේද බබා? මට පරක්කු වෙලා ”

“අයියෝ ... තාම මුකුත් ගත්තේ නැනේ අනේ.....”

 මටත් ඇති ජරා ගතිය නිසා මම ඒ බඩු කූඩයට ඇස දැම්මෙමි. ලොකු කෝඩියල් බෝතල් 2ක් ජෑම් බෝතලයක් හා ලොකු ඇග මහත්වීම අඩු කරනවා යැයි කියන කිරි පිටි පැකට් එකක්ද උඩින්ම තිබුණි.චීස්, කේක්, ක්‍ෂණික නුඩ්ල්ස්, ජෙලි පැකට්, රසකළ කිරි අදී නානාප්‍රකාර දේ එහි තිබුනත් බඩ පිරෙන තුරු වේලක් කෑමට නම් මුකුත් තිබුනේ නැත.

  නූතන ආහාර කර්මාන්ත කරුවන් රසකාරක, කල් තබාගැනීමේ ද්‍රව්‍ය, වර්ණක  වැනි එකී නොකී වස කාරක, වඳකාරක, පිළිකා කාරක මෙන්ම සතකුවත් නොකන දහජරාව  පවා, ඊනියා ජනප්‍රිය මොඩ් ආහාර සංස්කෘතියේ නාමයෙන් අපගේ ආමාශ ගතකරවමින් සිටින බව මට සිහිවුයේ එවිටය. වෙළඳ දැන්වීම් වල පෙනී සිටින මිසිස්පෙරේරලා, සිල්වලා, නළු නිළියන්,ක්‍රීඩකයන් මෙන්ම උපදේශකයන්, සූපවේදීන් හා විවිද වුර්තියවේදීන් යැයි කියාගන්නා පුද්ගලයන් විසින් අප කොතරම් ගොනාට අන්දවා ඇත්ද? නූතන ආහාර කර්මාන්තකරුවන් විසින් දැන් ආහාරයක්යනු වඩා සරල, විද්‍යාත්මක පදනමක්නොමැති, ටොයිස්බඩුවක්බවට පත් කොට හමාරය.

“බෝලයක් වගේ බබෙක්, අනේ ෂෝක් නේද?”

මගේ සිතුවිලි දාමය බිදී ගියේ අර සක්කරවට්ටමේ කටහඬ ඇසීමෙනි.තරුණයගෙ මුහුණේ නම් ඇත්තේ සසර කලකිරුණු ස්වභාවයකි.තරුණිය දකින දකින දේ තම කූඩයට ගොඩ ගසයි.ඊට ඉදිරියෙන් හාල් ගෝනියක් තරම් සයිස් අවුරුදු 5ක පමණ ගැනු ළමයෙක් කාන්තාවකගේ අතේ එල්ලී සිටි. “ෂෝක් බබා” යැයි කිවේ මේකටදැයි මට පුදුම සිතුනි.පාන් පිටි කෑම, කොත්තු, රයිස් දැන් වසංගත මට්ටම පසු කර ජානපදික තත්වයට පත්වී හමාරය. රස කාරක වල පිහිටෙන් අද පිදුරු පුනක්කු තණකොළ පවා ප්‍රනීත රස බොජුන්  ලෙසේ කෑම මේසයට එවීමට හැකිය.රසය යාමනය කරන රසායනික මගින් දිවේ රසය හඳුනා ගන්නා සෛල (රසාංකුර) උත්තේජනයට ලක්කරන නිසා කටේ දමා ගන්නා ඕනෑම දෙයක්රසවත් යැයි අපට හැගෙනු ඇත.එමෙන්ම මේවා  ප්‍රබල ඇබ්බැහිකාරකයන් ද වේ. මේ අනුව වැඩි වැඩියෙන් රසකාරක යෙදූ ආහාර ගිල දැමීමට අප තුළ මළ පෙරේතකමක්ඇති කරවීමටද මේවා සමත්ය. කුඩා දරුවන්ට මේවා යහමින් දමා ඇති, කඩචෝරු කැවීමට දෙමාපියන් ගනු ලබන ආදරණීය, තකතීරු  උත්සාහයේ ප්‍රතිපලය ලෙස දරුවන්ට ගෙදර උයන බත් පිඟාන කවා ගැනීමටය නොහැක. ස්වාභාවික කෑම පිගානේ කොනකට සෝස් පොඩ්ඩක්, නැත්නම් වෙනත් නානාප්‍රකාර කෑමක් නොමැතිව, කැවීමට අසීරුකම නිසා  ගෙදර මළසමයං නටමින් දරුවන්ට බත් කැවීමට, හිවල් අං පෙන්වීමට දෙමාපියන්ට සිදුවී ඇත්තේ මේ නිසාය. සුප් කැටයෙන්, කොත්තුවෙන් පටන් ගත්තාම වෙළෙඳ පොළේ සැරිසරන බොහොමයක්සකස්කළ ආහාර වර්ග වල ඇති "ස්වාභාවික රසකාරක", "අනුමත රසකාරක","රස යාමනයන්", "වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය”, "ස්වාභාවික චිකන්”, මාළුරසය", "ආහාර පදම් කාරක", මේවායේද බොහෝ විට තිබෙන්නේ වසකාරක, වඳකාරක, පිළිකාකාරක බව නම් කිව යුතුය.

            කෝඩියල් බෝතලයයි, ලේයර් කේක් ගෙඩියයි අරන් සිංහල අවුරුද්දට නෑගම් යන අපේ කලේ අම්මලාට අපේ පැරණි කෑම බිම රසගුණ නැති වැදගම්මක් නැති ඒවා වී හමාරය. පැරැන්නන් ගමේ ගොඩේ හැදෙන වස විස නොයෙදූ කෑම බීම ජාති යහමින් අනුභව කළත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්වී ඇත. පැරැන්නන්ගේ දිවි රැකදීමට ඉවහල්වූ පෝෂණයේ අතිවිශිෂ්ටත්වය වූ රළු, ස්වාභාවික ආහාර කිසිදු වැදගැන්මකට නැති තුට්ටු දෙකේ ආහාර බවට පත්කර ඇත. එපමණකින් නොනැවතී "ස්වභාවික ආහාර අනුභවයෙන් සැඟවුණු පෝෂණ ඌණතාවයන් පවා ඇති විය හැකිය.." යනුවෙන් පැවසීමට තරම් වර්තමානය නිර්භය හා නිර්ලජ්ජිතවී ඇත. ඒකියන්නේ වඳභාවය, පිළිකාව පවා, පරම්පරාවෙන් පරම්පරාවට යන බව පවසමින් කිසිදු වග විභාගයකින් තොරව අප විසින් ගිල දමනු ලබන මොඩ් කෑම බීම වලට එක්කර තිබෙන මාරාන්තික රසායනික ද්‍රව්‍ය සහ පිළිකුල් සහගත ද්‍රව්‍ය සාධාරණිකරණය කිරීමට අප පෙළඹී ඇත.

            දෙල් ඇති කාලෙට දෙල් ගෙඩියක් බැදීමට, ගෙදර ඉතිරි වන බත් ටික වෙලා අග්ගල හැදීමට, කුරහන් හැලප ගෙඩියක් හැදීමට අද අම්මලාට හිත නොදෙන්නේ මොන වින්නැහියක් නිසා දැයි මට නොතේරෙයි. සකස්කරගන්නට කාලය වැයවන, රළු පරළු කැවුම්, කොකිස්‌, කිරිබත් යනාදිය, කොණ්ඩෙ බැඳපු චමින්දලාගේ, කෑම විදියට සලකන අපගේ කෑදරකට, දිව සහ හිත පිනවීමට නූතන ආහාර කර්මාන්ත කරුවන්ගේ වසකාරක, වඳකාරක, පිළිකාකාරක අද සමාජයට රජ බොජුන් වී හමාරය.

            බොහෝ දෙනෙක්කේක්‌, බිස්කට්‌, අයිස්ක්‍රීම්, පුඩින්, වටලප්පන්  ආදී කෑම වර්ග වලින් තම අවුරුදු කෑම මේස සරු නොකළොත් මහත් මදිපුංචි කමක්ලෙස සලකන්නට පුරුදුව සිටිති. දේශීය රසකැවිලි වලට ඖෂධීය ගුණයෙන් අනූන එනසාල්, වසාවාසි, සාදික්කා ආදී ස්වභාවික සුගන්ධකාරක එක්කළද, මේ විජාතික ආහාර තැනීමට භාවිත කළ යුත්තේ වැනිලා, ස්ට්රොබෙරි, ඇපල්, අන්නාසි ආදී කෘතිම සුගන්ධකාරකයන්ය. බෝතල් වල අසුරා වෙළෙඳ පොළේ විකිණීමටත් තිබෙන මේ සුගන්ධකාරක වර්ග වල තිබෙන්නේ ඇත්තම වැනිලා, ස්ට්රොබෙරි හෝ ඇපල් යෑයි විශ්වාස කරන පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු ඒවායේ තිබෙන පිළිකා කාරක සහිත කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන්ගේ ආදීනව නොදනිති.

            ඉස්සර අපේ ආච්චි අම්මා පාර අයිනේ වැටි ඇති ගොම බෙට්ටක් පාරෙන් අහුලා ගත් දෙල් කොළ දෙකකින් එකතු කර ගෙදර ගෙනවිත් මිදුලේ මිරිස් පැල වලට දමන අයුරු මට තාම මතකය. ඒ ඔවුන් ගොම් බෙට්ටක අගය දන්නා නිසාස.ඔපිස් ඇරී ගෙදර එන ගමන්, ටවුන් එකෙන් කැට පෝර පැකට් එක ගෙනවිත් දොරකොඩ මල් පඳුරට දමා මල් හැදෙන තුරු ඇඟිලි ගනින අපේ කාලේ දෝණිනැන්දලාට ඒවායේ ආදීනව තේරෙණ දාට පෙරහැර ගොස් හමාරය.

ජංගම දුරකතනයක් නාද වීමෙන් මම හිස එසවුවෙමි. පෙර කී තරුණියට කෝල් එකක් පැමිණ තිබුණි.

“හලෝ ඩාලිං, ඔයා කොහෙද ඉන්නේ ? මම මේ බබාව ඩාන්සින් ක්ලාස් එකට එක්කන් අවා.”

............................................................................

“ආ ඔයා එන ගමන්ද? මම බබාව අරන් ගෙදර එන්නම්, ඔයා පරිස්සමින් එන්නකෝ................බායි.....”

ආඩම්බර ලීලාවෙන් තරුණයා දෙස බැලු තරුණිය දුරකථනය විසන්දී කර බෑගයට දැමුවාය.

මට එක වරම සිතුනේ “දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.” යනුවෙනි.
                                                                                        

                                                                     මාවිසින් නිර්මිත දියදොර සගරාව වෙතට
                                                                                              අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂක

                                                                                   කමල් බුද්ධික සෙනරත්  සහෝදරයා ලබාදුන් ලිපියකි


Read More

Saturday, August 9, 2014

මලක් වගේ මළදේහ බැහැරලමු....



ශ්‍රී ලංකාවේ අපි සාමාන්‍ය යෙන් කෙනෙක් මිය ගියාම ඔහුට ගෞරව පිණිස ඔහුගේ මළ දේහයේ කටයුතු හැකි පමණ ලස්සනට කරන්න තමයි පෙලඹෙන්නෙ. ඒත් සියලු සමස්ථයම මෙලෙසට සිදුවෙනවාද යන්න ගැන යම් කුකුසක් සිතේ ජනිත වෙනව,අවසානයේ මළ දේහය බැහැර කිරීම , වලදැමීම හෝ ආදාහනය කිරීමේ කටයුත්ත දිහා නැවතිල්ලෙ හිතල බැලුවම.මොකද මහජන සෞඛ්‍ය පරීකෂක වරයෙක් විදිහට ප්‍රජාව අතර ගැවසෙද්දී මා දුටුව එක් කරුනක් තමයි ජනතාව තුල මළදේහ ක්‍රමානුකූලව බැහැර කිරීම පිළිබදව තියෙන්නෙ ඉතාමත්ම අඩු ආකල්පයක් කියන එක.කොතනක හරි වලක් කපනව ඒකත් කරන්නෙ ගෙදර අය නෙමෙයි උදව්වට එන ගමේ කීපදෙනෙක් එකතුවෙලා තමයි කරන්නෙ.එත කොට ඉතින් ඇග රත්වෙන්නත් පොඩිඩක් මොනව හරි දාගෙන වල කපන්න ලේසි තැනක් බලනව ආයෙ ඉතින් අඩි 6 යි 4යි ගානට කපල නවත්තනව මිසක් අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕන කිසිම දෙයක් පිළිබදව සොයන්නෙ නෑ.දැන් මේ කියවන ඔබට හිතෙනව ඇති එහෙම අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕන කරුනුත් තියනවද ? එහෙනම් මොනවද ඒව කියන එක,
ඒත් ඊට ප්‍රථමෙන් අපි මළදේහ බැහැර ලීමට ගනු ලබන ක්‍රමවේදයනුත් පහුකරගෙන එතනට යමු.
ලෝකයම ගැන බැලුවම ටිබෙට් ජාතිකයන් ස්කයි බ්රියල් කියල ක්‍රමයක් භාවිතා කරනව,ස්පාඤජාතික රාජකීය පවුල්වල නම් සිරුර ක්‍රමයෙන් දියවන්නට ඉඩදීල ඇට කැබලි ටික සොහොනක් හදල ඒකෙ තැන්පත් කරනව.යුරෝපයට යද්දි මේක වෙනස් වෙනව සමහර රටවලදි මුහුදට බැහැරලීම තමයි කරන්නෙ,ඒකිව්වෙ නැවකින් මුහුද මැදට ගෙනිහින් මුහුදට දමනව නැතිනම් බෝට්ටුවක තියල පා කරනව.තවත් සමහර නොදියුනු ගෝත්‍රික ජනයා ඔවුන්ගේ ආගමික හෝ සංස්කෘතිකමය පිළිවෙතට අනුව මළදේහයේ මාංශ අනුභව කරනව.මේවා මෙසේ සිදුවෙද්දි ඉතාමත් දියුණු ක්‍රමවේදයනුත් භාවිතාවෙනව.ඒ අනුව සිරුර දියකරන ක්‍රම එනම් ප්‍රභල අම්ල හෝ භශ්ම ද්‍රාවන තුල දේහය දමල දියකිරීමට සලස්වනව මේක ඉතාමත්ම පරිසර හිතකාමී දෙයක් ඒතුලින් භූමියට සිදුවන හානිය වගේම වායුගොලයට අලුතින් Co2 කොටසක් එක්වීමත් වැලකෙනව.
බොහෝ යුරෝපියානු රටවල මෙවන් වූ ක්‍රම භාවිතාවෙද්දි ආසියානු අපි සාමාන්‍ය යෙන් මියගිය අයකුට පොදුවේ ගෞරව කිරීම සදහා මරනය දින කීපයක් තබාගතයුතු හින්ද දේහය එම්බාම් කරල ටික දවසක් තියාගෙන ඉදල තමයි භූමදානය , තැන්පත් කිරීම හෝ ආදාහනය කිරිම කියන ආකාර තුනෙන් එකක් හරහා බැහැරලීම සිදුකරන්නෙ.
ආදාහනය නම් ඉතින් කෙරෙන්නෙ ගෞරවනීය ලෙසට මළදේහයක් ඉවත්කිරිම කලයුතු අවස්ථාවකදී තමයි එතකොට සෑයක් හදල තමා වැඩේ සිද්දවෙන්නෙ.අවසානයේ ඉතුරුවෙන අලුටික දේහයේ භාරකරුවන්ට ලබාදෙනව.දැන් දැන් සුසානභූමිවල ආදාහනාගාර  පිහිටුවා තියෙන හින්ද ඒවා තුල මළදේහ ආදාහනයන් කිරීම තරමක් ජනප්‍රිය අංගයක් බවට පත්වෙලා.ඒවගේම ආදාහනය කිරීමත් කිසිම ප්‍රශ්නයක් ඇතිනොවෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් බවටත් පත්වෙනව, හැබැයි ඒ එයින් පිටවන දුම හා අලු භාහිර පරිසරයට නිසි සෞඛ්‍ය ක්‍රමානුකූල හා නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව පිටවනවානම් තමයි.
එහෙත් ලාංකීය බහුතරයක් දෙනා තවමත් මළදේහ බැහැර කිරීමට භූමදානය හෝ තැන්පත් කිරීම තමා යොදාගන්නෙ.ඒකත් සමහරු සුසාන භූමියකට ගිහින් තමයි සිදු කරන්නෙ.එවිට නම් ඒ අදාල සුසාන භූමියේ ඉන්න පාලක වරයාගේ ප්‍රධාන අධීක්ෂණය යටතේ සිදුවෙන කර්තව්‍යයක් නිසා විශාල ගැටලුවක් ඇතිවන්නේ නෑ මොකද සුසාන භූමියක් පිහිටුවන්නෙ විශාල කරුණු රාශියක් ගැන ඉතිමත්ම සියුම්ව සිතා බලා සැලකිලිමත් භාවයකින් යුක්තව හින්ද.
එහෙත් බහුලවම සිදුවන පෞද්ගලික ඉඩමක මළ දේහයක් භූමදානය කිරීමෙදි එහෙම නෑ ඉතින් අන්න ඒ පිළිබදව තමයි අපි වැඩි අවධානයක් යොමු කලයුතුවන්නෙත්.සාමාන්‍ය යෙන් බොහෝ දෙනෙක් භූමදානය සදහා වලක් කපද්දී වලේ සාමාන්‍ය ප්‍රමානය පිළිබදව විතරයි සැලකිලිමත් වෙන්නෙ ඒත් ඊට වඩා කරුණු ගනනාවක් ගැනම සොයාබලන්න වෙනව.අපි භූමදානය කරන මෘත දේහය ටිකක් කල් ගතවෙද්දි නිර්වායු ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සරල තත්වයට පත්වුනු දේහයේ සංකීර්ණ සංඝටක වලට පස හරහා ගමන් කීරීම පහසුයි.ඉදින් අපිමේ දේහය භූමදානය කරල තයෙන්නෙ ගගකට,ලිදකට,අසල ජලාශයකට අඩිකීපයක් දුරින්නම් නිතැනින්ම ඒ ජල සංචායක දූෂණයට ලක්වෙලා එයින් ජලය භාවිතයට ගන්නා අය රෝගී වෙනව.ඉතින් ඒ හේතුවෙන් අපි දේහයක් භූමදානය කරද්දි වලක් කපනකොට අවට ලිදකට හෝ වෙනත් ජල මූලාශ්‍රයකට මීටර 15ක් නැතිනම් අඩි 50ක් දුර(පරතරය) තැබීම අනිවාර්ය අංගයක්.තව වලේ ගැඹුරත් දිග පළලත් පහත අයුරට තියෙන්නම වෙනව.
වැඩිහිටි අයකුනම් 6×3×6
ලමයකුට 6×2.5×4.5
ළදරුවකුට 6×2×3          ප්‍රමාණයන්ගෙන් තමයි වල කැපිය යුත්තෙ.අවමය අඩි 4 කුත් උපරිමය අඩි 6 කුත් අතර ගැඹුරක්නම් තිබීම අනිවාර්ය වෙනව.
බැරිවෙලාවත් වල කපද්දි වතුරක් අහුඋනොත් ස්ථානය මාරු කරන්න වෙනව.නැතිනම් තැන්පත් කිරීමක් ඒකිවුවෙ වලේ අඩියට ඝණ ඉටිකොලයක් එලල ඊට උඩින් කොන්ක්‍රීට් තට්ටුවක් දමල සම්පූර්ණ වලම සිමෙන්තියෙන් බැදල දේහය සහිත පෙට්ටිට තැන්පත් කරල කවුලුවත් හොදින් වසාදමන්නම වෙනව කෙටියෙන් කිවුවොත් සම්පූර්ණ වලම සීල් කිරීමක් තමා කෙරෙන්නෙ.එසේ නොමැතිනම් පොළව මතුපිට සිමෙන්තියෙන් වලක්/ටැංකියක් හදල ඒක ඇතුලෙ මෘතදේහය සහිත පෙට්ටිය තැබීම කල හැකියි.
මෙවන් හේතූන් නිසාවෙන් භූගත ජලමට්ටම ඒවාගේම පසේ ස්වභාවය මෙන්ම භූමදානය සිදුකරන ස්ථානය ජලයෙන් යටවනවාද ආදී වූ කරැණු ගැන අපි අවධානය යොමුකල යුතුයි.
ඒවගේම මියගිය පුද්ගයා මිය යාමට හේතුවත් සොයා බලන්නම වෙනව ඔහු/ඇය මියගියේ රොගී තත්වයක් නිසාවෙන් නම් එවන් දේහයක් බැහැර කිරීම කරන්නෙ විශේෂ ආකාරයකට තමයි.කොලරාව,වසූරිය,ඒඩිස්,ජලභීතිකාව,මහාමාරිය,කහඋණ වගේ රෝගයකින් මිය ගියානම් මේ කාරණය විශේෂිතයි.එවන් විටකදි දේහය ආදාහනය කරනවනම් එය තමයි වඩාත්ම උචිත ක්‍රමය.එසේ නොවන අවස්ථාවක නම් දේහය සහිත පෙට්ටිය අනිවාර්යයෙන්ම ඉහතින් කී අයුරට භූමදානය කරන්නම වෙනව.
මේ ආකාරය මෘතදේහ බැහැර කිරීම තුලින් දේහයට ගෞරවයක් සිදුවෙනවා මෙන්ම අපේ සෞඛ්‍යයත් සුරැකීම නිතැනින්ම සිදුවෙනව.

තවම ඉවරනෑ..........................................
එම්.සංදීප - අභ්‍යසලාභී ම.සෞ.ප
ගාල්ල.
Read More

Friday, May 30, 2014

ආයෙමත් ආදරෙන්.......

Read More

~සහවේදනය~



හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළුවුනේ කඩිනමින්. සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා, වෛද්‍යවරයා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් එයා වෛද්‍යවරයා වෙත කඩා පැන්නා. “ඇයි ඔයා එන්න මෙච්චර වෙලා ගත්තේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව දන්නෙ නැද්ද? කිසිම වගකීමක් නැති හැටි!”
වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා. “මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු ගමන් තමයි මම ආවේ. දැන් ඉතින් කලබල නොවී ඉන්නකෝ…!”
“කලබල නොවී ඉන්න?! කලබල නොවී ඉන්නෙ කොහොමද?! ඔයාගේ පුතාට මෙහෙම දෙය වුනොත් ඔයා කලබල නොවී ඉන්නවද?!” පියා තරහින් කෑ ගහුවා.
තවමත් සිනහමුසුව ඉන්න වෛද්‍යවරයා පියාට උත්තර දුන්නේ මෙහෙම. “මිනිස්සු ඉපදෙනවා. ඒ වගේම මැරෙනවා. වෛද්‍යවරයෙකුට ඒක නවත්තන්න බැහැ. ඒත් ඔයා ඔයාගේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරන්න. අපි එයාව බේරගන්න හැම දෙයක්ම කරනවා.”
“මහ ලොකුවට උපදෙස් නම් දෙනවා” පියා තමාටම කියා ගත්තා.
සැත්කමට පැය කිහිපයක් ගත් වුනා. වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ආවේ සතුටින්…
“ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා!” වෛද්‍යවරයා එයාගේ වාහනය වෙත දුවමින් කිව්වා. “ඔයට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න.” එහෙම කියලා වාහනයට නැගපු එයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.
“ඇයි එයා එච්චර ආඩම්බර? මගේ පුතාගේ තත්වය ගැන අහන්කන්වත් ඉන්නේ නැතුව එයා යන්න ගියා.” පියා වෛද්‍යවරයා ගැන හෙදියට කිව්වේ එහෙම.
හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහුණින්. “එයාගේ පුතා ඊයේ සිද්ද වෙච්ච ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒ පුතාගේ අවසන් කටයුතු අද. ඔයාගේ පුතාගේ ජීවිතේ බේරගත්තට පස්සේ එයා ඉක්මනට ගියේ එයාගේ පුතාගේ ආදාහන කටයුතු ඉවර කරන්න”

කවදාවත් කිසිකෙනෙකුට චෝදනා කරන්නවත් බණින්නවත් උත්සුක වෙන්න එපා. ඒ, ඔබ ඒ පුද්ගලයාගේ ජීවිතය ගැන හෝ එයාගේ කරදර බාධක ගැන දන්නේ නැති නිසා

~උපුටා ගැනීමකි~

Read More

උන්මාද සිතුවමකි, තවමත් ඔබ අපට

පහුගිය දවස්වල අපි ආනන්දයෙන් ප්‍රඥාව ගැන තමා කතා උනේ ඉතින් ඒකෙදි ගොඩක් අය කතාඋනු කෙනෙක් ගැන මටත් දෙයක් කියන්න හිතුන...........

අපේ රටේ මානව හිතවාදී යන නාමයෙන් හැඳින්වෙන කලාකරුවන් සිටින්නේ ස්වල්ප දෙනෙකි. ඉන් එක් කලාකරුවකු වන්නේ ජනකාන්ත නළු විජය කුමාරතුංගයන්ය. අනිත් කලාකරුවා විශාරද ගුණදාස කපුගේ ය.
මානව භක්තිපූර්වකයකු වුවත් කපුගේ ලිබරල්වාදියකු වුවා යැයි මම නොසිතමි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාක්ස්වාදියෙකි. එය ඔහුගේ දේශපාලන දර්ශනය වූයේය.

මා අසා කියවා ඇති පරිද්දෙන් කපුගේ වතු කම්කරුවකුගේ පුතෙකි. වතු කම්කරුවකු වශයෙන් තම පියා සූරා කෑමට ගොදුරු වූ ආකාරය කුඩා කල සිටම කපුගේ අත්දුටුවා විය හැකිය. එහෙයින් නිර්ධන පන්තිය කෙරෙහි - පීඩිත පන්තිය කෙරෙහි දැඩි මානව දයාවක් ඔහු තුළ පිහිටා තිබීම යථාර්ථවාදීය. කපුගේ ගේ ගීතවලත් ඔහුගේ සමාජ දේශපාලන භාවිතාව තුළත් ප්‍රධානම සංරචකය බවට පත් වූයේ මේ ජීවිත දැක්මයි.

ආර්ථික පරිපීඩනය හේතුවෙන් කපුගේට සංගීතය පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට යෑමට ඉඩප්‍රස්ථා නොසැලසිණි. එහිදී ඔහුගේ පිහිටට ආවේ පවුලේ සමීපතම ඥාතිවරයෙකි. ඔහු තම ගේ දොර ඉඩකඩම් උගස් තබා කපුගේට මුදල් පරිත්‍යාග කළේ ය. කපුගේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයයෙන් සංගීත විශාරද උපාධිය ලබන්නේ ඉනික්බිතිවය.
1969 දී විශාරද උපාධිය ලැබ ලංකාවට එන කපුගේට ගුවන්විදුලියේ ලැබෙන්නේ ‘ක්‍රියාකාරී සහායක’ තනතුරකි. ඔහු ශබ්ද පරිපාලකයකු ලෙස වෘත්තිය ජීවිතය අරඹයි. සංගීතය පිළිබඳ විශාරද උපාධියක් ලද්දකුට හිමිවිය යුත්තේ මෙබඳු කාර්මික අංශයේ රැකියාවක් දැයි සිතා බැලීම පාඨක ඔබට භාරය.
කපුගේ ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ ගුවන්විදුලියේ සිටියදීය. ‘දෑස නිලුපුල් තෙමා’ නම් වූ ගීතයෙන් ඔහු ගායකයකු ලෙස දොරට වඩී. එම ගීතය අදටත් අප හදවත අළලන වින්දනයක් ගෙන එන නිර්මාණයක් නොවන්නේ ද? සිංහල සුභාවිත ගීතය පෝෂණය කිරීම උදෙසා තවත් ගායකයකු සංගීත ක්ෂේත්‍රයට බිහිවූ සංඥාව මේ ගීතය අපට ගෙන ආවේය. පසුව කපුගේ ගුවන්විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයකු ලෙස උසස්වීමක් ලබයි.

කපුගේට ගායකයකු වශයෙන් හා වෘත්තිකයකු වශයෙන් නොයෙක් අතෝරයන්ට මුහුණ දෙන්ට සිදුවන්නේ 1977 න් පසුව ඇරැඹුණු ධනපති ආණ්ඩුව යටතේය. ඔහුගේ ගීත වාරණයට ලක්වන අතරේ ඔහුගේ එතෙර සංචාරයන්ට ලැබුණු ඉඩ ප්‍රස්ථා වැළැක්වෙයි. ඉන් එක් අවස්ථාවක් වන්නේ 1977 දී සෝවියට් දේශයේ පැවැති අන්තර් ජාතික ගායන තරගයකට ලද ඇරියුම් පිළිගන්ට ඉහළින් අවසර නොලැබීමයි.

ඊළඟ වසරේදී කියුබාවේ හවානා නුවර අන්තර්ජාතික තරුණ සමුළුවකට සහභාගිවීමට ආරාධනා ලැබුණු අවස්ථාවේ කපුගේට නිවාඩු අනුමත කෙරුණේ නැත. රැකියාවට වඩා ස්වාධිනත්වය බෙහෙවින් අගය කළ කපුගේ රස්සාව යකාට ගියාදෙන් යැයි සිතා කියුබානු සමුළුවට සහභාගි වුණේය. ඔහු ආපසු එන විට සේවය හැර ගියා සේ සැලකෙන ලිපිය ඔහුට ගුවන් තොටුපළටම ලැබෙන්ට සලස්වා තිබිණි. එදා ධනපති ආණ්ඩුව ඔහුට අරියාදු කළේ එලෙසය.
පසුව ඔහුට යළිත් රැකියාව ලැබුණ ද එවක සිටි අගමැතිවරයාට අපහාස කරන ලදැයි යන චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වන කපුගේ ගේ වැඩ යළිත් තහනම් වූයේය.

තමාගේ සංගීත ජීවිතයේ විශාල පරිවර්තනයක් සිදු වූයේ හවානාවලදී බව කපුගේ පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකදි කියා සිටියේය. එය ‘දිවයින’ ‘මීවිත’ අතිරේකයට මාධ්‍යවේදි බුලිත ප්‍රදීප් කුමාර සමඟ කළ සාකච්ඡාවකි. එහි මෙසේ දක්වා තිබිණි.
“මෙතැනදි මට හමුවුණා ඔස්ටෝරිකාවේ ගායකයෙක්ව. ඔහු මගේ සින්දු අහලා තියෙනවා. ඇයි නුඹලගේ මිනිස්සුන්ට ඔය තැනින් මුදවගන්න, මිනිස්සුන්ව ඥානනය කරන්න සින්දු නොකියන්නේ. උඹලට උඹලගේ මිනිස්සුන්ව ඉදිරියට ගෙනියන්න වුවමනාවක් නැද්ද කියලා ඔහු ඇහැව්වා. මේක මගේ හිතට තදින් කා වැදුණා. මගේ ගායන ජීවිතය, නිර්මාණ ජිවිතය පුදුමාකාර විදියට මේ සිද්ධියෙන් පස්සේ වෙනස් වුණා.

මම ඊට පස්සේ බොහෝදුරට මිනිස්සුන්ව ඥානනය කරන්න පුළුවන් විදියේ ගීත කිව්වා.” (1995 ඔක්තෝබර් 15) කපුගේ සමාජ යථාර්ථය පාදක කරගත් ගීත ගායනා කරන්ට සක්‍රීයව දායක වූයේ ඉන් අනතුරුවය. කෙසේ වෙතත් කපුගේ කවදත් හරවත් ගී පදමාලා කෙරෙහි සැලකිලිමත් වූ ගායකයකු ලෙස මම දකිමි. මෙහිදී මට මගේ පෞද්ගලික අත්දැකීමක් ද සිහිපත් වෙයි. හැත්තෑව දශකය අගභාගයේදී පමණ මම මා ලියූ ගී පද කීපයක් රැගෙන කපුගේ හමුවන්ට ගියෙමි. ඔහු නැවතී සිටියේ මරදානේ පිහිටි සංගීතඥ සේන වීරසේකරයන්ගේ නිවෙසේය. මම ඔහුට මගේ ගී පද රචනා දුනිමි. එය කියවූ කපුගේ ඉන් පසු මෙසේ විචාලේය.

“මල්ලි ‘කෝමළ රේඛා’ කියවලා තියෙනව ද?”
මා ඒ වන විට එබඳු පොතක් ගැන අසාවත් තිබුණේ නැත. මා සිතුවේ එය නවකතාවක් විය හැකි බවයි.
“මල්ලි හොයාගෙන කියවන්න ‘කෝමළ රේඛා’. ඒක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පොතක්.”
කපුගේ කීවේය. ටික දිනකට පසු මම ‘කෝමළ රේඛා’ පොත සොයාගෙන එහි මානවසිංහ ගීත රචනා කලාව ගැන ලියා තිබු දීර්ඝ ප්‍රස්තාවනාව කියවිමි. එය කියවා මා හොඳ ගීත ලිවීමට පෙලඹෙතැයි කපුගේ කල්පනා කළා විය හැකිය. එහෙත් සිදුවූයේ අනිකකි. එය කියවූ පසු මට මගේ කුදුබව පසක් විය. ගීත රචකයකු වන්ට නම් කවි ශක්තියක් තිබිය යුතු බව මට හැඟි ගියේය. එබඳු නිර්මාණ ප්‍රතිභාවක්, මහරු කවීත්වයක්, ගීත ලිවීමට සුදුසු අනුභූතියක් මට ඒ වන විට නොමැති බව මට ඒත්තු ගියේය. මම වහාම ගීත ලිවීම නවතා දැමිමි. ‘කෝමළ රේඛා’ නොකියවා මා පණ්ඩිතකමට ගීත රචකයකු වූවා නම් මට සිදුවන්නේ කාඩ් එක කුඩුකර ගන්ටය.
කපුගේ මොන ගී ගැයුවත් මා පෞද්ගලිකව ඔහුගේ හොඳම ගී ලෙස දකින්නේ පේ‍්‍රමයේ ලාලසාව හා එහි විරහව වස්තු විෂයය කරගත් සෞන්දර්යාත්මක ගීතය. ඔහුගේ හොඳම ගීතය ලෙස මා සලකන්නේ ‘එක්ටැම් ගේ’ චිත්‍රපටයට ඔහු ගැයු ‘උන්මාද සිතුවම්’ ය. භාවමය ශුන්‍යත්වයකින් පෙළි සිටින සංකාකූල මොහොතක මේ ගීතය අප තුළ ඇති කරන සතතානන්දය වචනයට නැඟිය නොහැකි තරමේ වේදයිතයකි.

ඒ හැරුණු කොට ඔහු ගැයු ‘දුක හාදු දෙන රැයේ’, ‘දම්පාටින් ලා සඳ බැස යනවා’, ‘මං හින්දා ඔබ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා’, ‘නින්ද නැති රැයේ’, ‘බිංදු බිංදු තාරකා’, ‘සීත පිනිබිඳු කඳුළු සලනා’, ‘තරු රෑන රිදී පාට පාට’ වැනි ගී මගේ රසාස්වාදයට හේතු වෙයි. ඒවා මොන තරම් රම්‍යතර නිර්මාණ ද? ඒවායින් අප තුළ ඇතිවන්නා වූ රසෝද්දීපනය මා වර්ණිතව විස්තර කළ යුතු ද? එසේ වුවත් ඔහු සෞන්දර්යය සීමාවෙන් ඔබ්බට ගොස් ගායනා කළ ගීත ද අපේ ප්‍රශංසාවට ලක්වුව මනාය.

විශේෂයෙන් වෙල්ලස්සේ ඉඩම් අක්කර පනස් හතර දහසක් බහුජාතික සමාගම්වලට විකිණිම එරෙහිව ගැයුණු ‘බිම්බරක් සෙනඟ’ (වෙල්ලස්සේ ගීතය) වැනි ගීත, වාර්ගික සහජීවනය පාදක කරගෙන ගැයුණු ‘උතුරු කොනේ නුඹ හිනැහෙන්’ වැනි ගීත අපේ බුහුමනට ලක්වු මනාය. එපමණක් ද නොවේ. මානව ජීවිතයේ අතිශය සංවේදනා පූර්වක අත්දැකීම් වස්තු කරගෙත් ‘දවසක් පැල නැති හේනේ’ ‘අයියන්ඩියේ නුඹ ඇවිදින්’ වැනි ගීත ද කපුගේ විශිෂ්ට ගී නිර්මාණ අතර සුවිශේෂ ස්ථානයක් ගනී. මේ ගී මඟින් සහෘදයා තුළ ඇති කරවන්නේ ජීවිතය හා සමාජය විනිවිද දක්නා නුවණකි. මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ වචනයකින් කිව හොත් අපේ ජීවිත වඩාත් සුසංවාදි, වඩා සුපුෂ්පිත කරගැනීමට මේ ගී වලින් සැලසෙන්නාවූ මෙහෙවර අතිමහත්ය.

කපුගේට රජරට ගුවන්විදුලියට මාරුවක් ලැබීම දේශපාලන පළිගැනීමක් වුවත් එය වෙස්වළාගත් ආශිර්වාදයක් වූ බව පසුව සලකා බැලීමේදී පෙනී යයි. ඒ ඔස්සේ ඔහු අලුත් ගීත රචකයන් පිරිසක් (පූජ්‍ය පල්ලෙගම හේමරතන හිමි, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර වැනි) ගායකයන් පිරිසක් (කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, ජයතිලක බණ්ඩාර වැනි) බිහි කිරීමට සමත් වූ අතර රජරට රසිකයන්ගේ කලා රසඥතාව ඉහළට නංවාලන්ට පුරෝගාමි කාර්යභාරයක් ද ඉටු කළේය.

1984 දී කපුගේ ‘කාලයේ රාවය’ නමින් සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළේය. ‘කම්පන (1990) ඒක පුද්ගල ගී ප්‍රසංගය එහිම දැවැන්ත වර්ධනීය අවස්ථාවකි.
‘කම්පන’ ප්‍රසංගය පිළිබඳ විචාරයක් ‘පෙරමඟ’ සඟරාවට ලිවීම හේතු කොටගෙන මට මහත් අකරතැබ්බකට මුහුණ දෙන්ට සිදු වූයේය. ඒ එම විචාර ලිපියෙන් උදහස් වූ ‘පෙරමඟ’ සංස්කාරක ඇන්ටන් අල්විස් මගේ ලිපි පළ කිරීම නවතා දැමීමයි. එම සිද්ධිය එකල පුවත්පත්වල පවා වාර්තා වූ ආකාරය මට මතකය.
කපුගේ ගේ මා අගය කරන එක් විශේෂත්වයක් වන්නේ කලාකරුවකු වශයෙන් ඔහු සතුව තිබු අදීනත්වයයි. වරක් කපුගේ සහභාගි වූ විවාහ මංගල උත්සවයකට එවක සිටි ජනාධිපතිනිය ද පැමිණ සිටියාය.

තමා හමුවන්ට එන ලෙස ඇගෙන් කපුගේට පණිවුඩයක් ලැබිණි. එවිට කපුගේ ගේ පිළිතුර වී ඇත්තේ මෙවැන්නකි.
“එයාට ඕනැනම් මාව හම්බු වෙන්න මගේ ළඟට එන්න කියන්න. මම මොකටද එයා ළඟට යන්නේ.”
එයින් කපුගේ සතුව තිබු පෞරුෂ සම්පන්නභාවය ප්‍රකට කෙරේ.
කපුගේ ‘සන්ෆ්ලවර්ස්’ සංගීත කණ්ඩායම සමඟ ගීත ගායනා කිරීම බොහෝදෙනකුගේ තදබල දෝෂාරෝපණයට ලක්වූවත් ඔහු එලෙස ඔවුන් සමඟ ගී ගායනා කළේ එකල බලවත් සේ රෝගාතුර ව සිටි සුගතපාල ද සිල්වාගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයා දීමට බව පසුව හෙළිදරව් වූයේ ය. එම කරුණ පසු කලෙක සුගතපාලම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.
කපුගේ ගේ ඇතැම් ගීත වේග රිද්ම නාද රටාවකට අනුචිත වුවත් ‘සන්ෆ්ලවර්ස්’ සමඟ ගීත ගායනා කිරීම නිසා ඔහුට අලුත් රසික පිරිසක් ඇති වූ බව නම් අවිවාදයෙන්ම පිළිගත යුත්තකි. ජෝතිපාලලගේ, එම්. එස්ලගේ, නිහාල් නෙල්සන්ලගේ ගීත ඇසු එම රසිකයෝ එතැන් සිට කපුගේ ගේ ගීත ද මහත් ආශාවෙන් අසන්ට පෙලඹුණාහ.
පොදුජන අරගලවලදි (ශිෂ්‍ය සටන් - වැඩ වර්ජන වැනි) කපුගේ නොමිලේ ගීත ගයා එම අරගලයන්ට ස්වකීය සහෝදරාත්මක දිරිගැන්වීම දුන්නේය. එහෙත් පෙරළා ඔහුට සමාජයෙන් ලැබුණේ කුමක්දැයි යන්න ප්‍රශ්න කිරීම වටී. මට අත්දැකීම් තුනක් සිහිපත් වෙයි.
(1) වරක් කපුගේ ගේ නිවෙසේ විදුලි බිල් පතේ හිඟ මුදලක් තිබිණි. එබැවින් අදාළ විදුලිබල ආයතනයේ පිරිසක් පැමිණ ඔහුගේ නිවෙසේ විදුලිය විසන්ධි කරන්ට සූදානම් වූහ. ඒ අවස්ථාවේ ගීත රචකයෙක්ද කපුගේ ගේ නිවෙසේ සිටියේය. “ඔයාලා දන්නවනේ මේක ගුණදාස කපුගේ ගේ ගේ කියලා. ඔයාලත් කපුගේ ගේ සින්දු අහලා රස විඳින අය වෙන්න ඇතිනේ. ඉතින් ඒ ගැනවත් හිතලා මේ වෙලාවේ ලයිට් කපන්නේ නැතුව යන්න. කපුගේ හෙට උදේ ඔය හිඟ මුදල ගෙවල දමාවි.

එහෙත් සේවක පිරිස ඊට කන් නොදුන්හ.
“අපිට කරන්න දෙයක් නැහැ මහත්තයා. අපිට කවුරු වුණත් එකයි; අපි කරන්නේ අපේ රාජකාරිය.”
එසේ කියූ ඔවුහු නිවෙසේ විදුලිය විසන්ධි කළහ. කපුගේ සහ පවුලේ අය කුප්පි ලාම්පුවක් දල්වාගෙන රැය පහන් කළහ.
(2) දිනක් ප්‍රසංගයක් නිම වී කපුගේ මැදියම් රැයේ වාහනයකින් නිවෙසට එමින් සිටියේය. පොලිස් මුර බාධක පොළකින් රිය නැවැත්විණි. රථයේ සිටින අයට බසින්නැයි අණ ලැබිණි. කපුගේ සිටියේ වෙහෙසත් මධුවිතත් නිසා අඩනින්දකය. රථයේ සිටි ප්‍රවීණ සංගීතඥයෙක් පොලිස් භටයා ඇමතුවේය.
“මල්ලි මේකේ ඉන්නේ ගුණදාස කපුගේ. අපේ වාහනේ ඔයාලට පරික්ෂා කරන්න දෙයක් නැහැ.”
එහෙත් එය ගණනකටත් නොගත් පොලිස් භටයා මෙසේ කීවේය.
මං දන්න කපුගේ කෙනෙක් නැහැ. තමුසේලා වාහනයෙන් බිමට බහිනවා.”
එම විධානයෙන් සංගීතඥයා උදහස් වූයේය.
“මල්ලි ඔයාගේ පඩිය කීයද?”
අන්දුන්කුන්දුන් වූ පොලිස් භටයා තම පඩිය කීවේය. ඉන්පසු සංගීතඥයා ඔහුට මෙසේ කීය.
“මල්ලි ඊළඟ පඩියෙන් රේඩියෝ එකක් සල්ලි දීල ගන්න. අරගෙන එකේ සින්දු අහන්න. එතකොට මල්ලිට දැනගන්න පුළුවන් ගුණදාස කපුගේ කියන්නේ කවුද කියලා.”

එසේ කියූ සංගීතඥයා පොලිස් අණ ද නොතකා රිය පණගන්වා ඇත.
තුන්වැනි අත්දැකීම මේ දෙකටම වඩා ජුගුප්සාජනකය. එය කපුගේ ගේ මරණය හා සම්බන්ධ සිදුවීම්වලියකි. කපුගේ මිය ගියේ එතෙර සංගීත සංචාරයක් සඳහා ගොස් යළි මෙරටට එන අතරවාරයේ ඔහු ගමන් ගත් ගුවන් බසයෙන් බිමට වැටීමෙනි. එහෙත් කපුගේට ප්‍රතිකාර දීම සඳහා ගුවන් තොටේ වෛද්‍යවරයකු සිටියේ නැත. එහෙයින් ඔහු ගිලන් රියකින් කොළඹ මහ රෝහලට යවන ලදි. ඒ සඳහා රුපියල් දෙදහක මුදලක් කපුගේ ගෙන් අයකර ඇත. කපුගේ ගුවන් බසයෙන් ඇද වැටුණේ පාන්දර 4.20 ට පමණය. එහෙත් උදේ 8.00 වන තෙක් ඔහු රෝහලට ගෙන යෑමට කිසිදු බලධාරියකු ඉදිරිපත්ව නැත.
නිසි වෙලාවට කපුගේට ප්‍රතිකාර ලැබිණි නම් ඔහු තවමත් ජීවතුන් අතරය. රෝහලට යන විට කපුගේ ගේ පවුලේ අයට දැනගන්ට ලැබුණේ ඔහුගේ මුදල් පසුම්බිය පමණක් නොව සපත්තු දෙක ද සොරාගෙන ඇති බවකි. එම සොරා අඩියක් ගැසු විට මේසයට තට්ටු කර ‘බිම්බරක් සෙනඟ’ ගීතය ගැයු කපුගේ ගේම රසිකයකු විය නොහැකි ද?
කපුගේ එකම ගඟකට වැටුණු සුනිල දිය දහරක් වුවත් සමාජය එසේ නොවූ බව ඉහත අත්දැකීම් තුනෙන්ම අපට පසක් වන සදා සත්‍යයයි. ඉතිං කපුගේට ආයෙත් මේ ස්වර්ණ භූමියේම ඉපදෙන්නැයි කියා අපට කටක් ඇර කිව හැක්කේ කෙසේ ද?

කපුගේ ගැයූ මියුරු ගී
උතුරු කොනේ...

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ...

කොතැනක සිටියත් ඉපදෙන - මියයන බිම එකනේදෝ
ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ...

එක මවකගෙ දරු කැල සේ එක්වී ඉන්නයි සැමදා
නෙතු හමුවට කඳුලැල්ලක් ළං නොමවන්නයි කිසිදා...

ගී පද රචනය - චන්ද්‍ර වාකිස්ට
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

දවසක් පැල නැති හේනේ...

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැසි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ...
පායන තුරු හිටි පියවර - හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරෙන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ...

කොළඹ අහස කළුකර ගෙන
මූදු හුළඟ හඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ...

ගී පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය - ගුණදාස කපුගේ

මං මුලාවී...

මං මුලාවී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුළා වූ සමනලියකගෙනි
පාර අසා තිබුණේ...

ඇයත් නොදන්නීය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයට ද පාරක් ඇති නැති ගානය...

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමන ද අද මෙතනින් නිමි...

ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

සිංහල සින්දු කියන

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තනා මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුණ සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
විහඟ සෙනඟ අඬාවි
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය පි‍්‍රයාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවි

ගායනය සහ සංගීතය - ගුණදාස කපුගේ
ගී පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ


........මූණු පොතේ රවුමක් යද්දි උපුටා ගත්තකි.....
Read More

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "