Wednesday, December 2, 2015

“ගෙදර යන ගමං”





පසුගිය දිනක සවස මම, “ගෙදර යන ගමං”  බඩු ගැනීමට ඇති සුපිරි වෙළද සලකට ගොඩ වුයේ ඒ අසල වෙන යාමට කඩයක් නොතිබූ හෙයිනි. නානාප්‍රකාර බඩු පිරවූ රාක්ක අතරින් ඉදිරියට යන අතර ඉදිරියෙන් තිබූ දර්ශනයක් මගේ නෙත ගැටුණි.වැදගත් ලෙසට ඇඳ පැළඳ  ගත් මගේ වයසට සමාන වයසේ තරුණයෙකි. ඔහුගේ එක් අතක එල්ලෙමින් තිබුනේ මෝටර් රථයක යතුරකි. අනික් අතේ එල්ලී තිබුනේ බහු රූ කෝලමකි. මම බහු රූ කෝලමේ පහල සිට ඉහලට නෙත ගෙන ගියෙමි. පොළවට වඩා අඟල් 6 ක් පමණ උස පාවහන් යුවලකි. තුනී ඇඟටම හිර වු පාට පාට මල් වැටුණු  සුදු  දිග කලිසමකි. පසුගිය වසරේ ආච්චි අම්මාට මා අරන් දුන් චිත්ත රෙද්ද මට සිහි වුයේ ඉබේටමය. ඇය ඉනෙන් උඩට ඇඳ සිටි ඇඳුමට කියන නම මා දන්නේ නැතත් ඇදුමෙන් වසා ගැනීමට අපොහොසත් වු ලැම තරමකට හෝ ආවරණය වී තිබුනේ ඈ ඇඳුමේ එල්ලා ගෙන තිබූ අව් කන්නාඩිය නිසා බව නම් කිව යුතුය. නියපොතු 10ට පාට 10ක් ගා තිබූ අතර ඇගේ අවලස්සන නිරුවත් පිට ආවරණය වී තිබුනේ වනා දමා තිබූ මලකඩ කෑ කොන්ඩයෙනි. තම්බපු ඉස්සෙක් තරමට සුදුමැලි මුහුනේ රතු පාටින් පාට කරන ලද දෙතොල නම් කැපි පෙනුනි. ඇහි බැම  උගුලා කන් පෙති දෙකට ට්‍රසල් 2ක් එල්ලා තිබුනේ වෙස් මුහුණක අසිරිය මුහුණට කැන්දමිනි. ගමේ ගොඩේ කාන්තාවන්ගේ දිය රෙද්ද මිට වඩා කොතරම් සංවර දැයි මට සිතුනි.

තරුණියගේ අතේ ඇති කූඩයේ ඇති බඩු ඇයට එතරම් බරක් නොවුවත් අසරණ තරුණයාටනම් මහා බරක් වී ඇති බවක් පෙනේ.

“දැන් ඇති නේද බබා? මට පරක්කු වෙලා ”

“අයියෝ ... තාම මුකුත් ගත්තේ නැනේ අනේ.....”

 මටත් ඇති ජරා ගතිය නිසා මම ඒ බඩු කූඩයට ඇස දැම්මෙමි. ලොකු කෝඩියල් බෝතල් 2ක් ජෑම් බෝතලයක් හා ලොකු ඇග මහත්වීම අඩු කරනවා යැයි කියන කිරි පිටි පැකට් එකක්ද උඩින්ම තිබුණි.චීස්, කේක්, ක්‍ෂණික නුඩ්ල්ස්, ජෙලි පැකට්, රසකළ කිරි අදී නානාප්‍රකාර දේ එහි තිබුනත් බඩ පිරෙන තුරු වේලක් කෑමට නම් මුකුත් තිබුනේ නැත.

  නූතන ආහාර කර්මාන්ත කරුවන් රසකාරක, කල් තබාගැනීමේ ද්‍රව්‍ය, වර්ණක  වැනි එකී නොකී වස කාරක, වඳකාරක, පිළිකා කාරක මෙන්ම සතකුවත් නොකන දහජරාව  පවා, ඊනියා ජනප්‍රිය මොඩ් ආහාර සංස්කෘතියේ නාමයෙන් අපගේ ආමාශ ගතකරවමින් සිටින බව මට සිහිවුයේ එවිටය. වෙළඳ දැන්වීම් වල පෙනී සිටින මිසිස්පෙරේරලා, සිල්වලා, නළු නිළියන්,ක්‍රීඩකයන් මෙන්ම උපදේශකයන්, සූපවේදීන් හා විවිද වුර්තියවේදීන් යැයි කියාගන්නා පුද්ගලයන් විසින් අප කොතරම් ගොනාට අන්දවා ඇත්ද? නූතන ආහාර කර්මාන්තකරුවන් විසින් දැන් ආහාරයක්යනු වඩා සරල, විද්‍යාත්මක පදනමක්නොමැති, ටොයිස්බඩුවක්බවට පත් කොට හමාරය.

“බෝලයක් වගේ බබෙක්, අනේ ෂෝක් නේද?”

මගේ සිතුවිලි දාමය බිදී ගියේ අර සක්කරවට්ටමේ කටහඬ ඇසීමෙනි.තරුණයගෙ මුහුණේ නම් ඇත්තේ සසර කලකිරුණු ස්වභාවයකි.තරුණිය දකින දකින දේ තම කූඩයට ගොඩ ගසයි.ඊට ඉදිරියෙන් හාල් ගෝනියක් තරම් සයිස් අවුරුදු 5ක පමණ ගැනු ළමයෙක් කාන්තාවකගේ අතේ එල්ලී සිටි. “ෂෝක් බබා” යැයි කිවේ මේකටදැයි මට පුදුම සිතුනි.පාන් පිටි කෑම, කොත්තු, රයිස් දැන් වසංගත මට්ටම පසු කර ජානපදික තත්වයට පත්වී හමාරය. රස කාරක වල පිහිටෙන් අද පිදුරු පුනක්කු තණකොළ පවා ප්‍රනීත රස බොජුන්  ලෙසේ කෑම මේසයට එවීමට හැකිය.රසය යාමනය කරන රසායනික මගින් දිවේ රසය හඳුනා ගන්නා සෛල (රසාංකුර) උත්තේජනයට ලක්කරන නිසා කටේ දමා ගන්නා ඕනෑම දෙයක්රසවත් යැයි අපට හැගෙනු ඇත.එමෙන්ම මේවා  ප්‍රබල ඇබ්බැහිකාරකයන් ද වේ. මේ අනුව වැඩි වැඩියෙන් රසකාරක යෙදූ ආහාර ගිල දැමීමට අප තුළ මළ පෙරේතකමක්ඇති කරවීමටද මේවා සමත්ය. කුඩා දරුවන්ට මේවා යහමින් දමා ඇති, කඩචෝරු කැවීමට දෙමාපියන් ගනු ලබන ආදරණීය, තකතීරු  උත්සාහයේ ප්‍රතිපලය ලෙස දරුවන්ට ගෙදර උයන බත් පිඟාන කවා ගැනීමටය නොහැක. ස්වාභාවික කෑම පිගානේ කොනකට සෝස් පොඩ්ඩක්, නැත්නම් වෙනත් නානාප්‍රකාර කෑමක් නොමැතිව, කැවීමට අසීරුකම නිසා  ගෙදර මළසමයං නටමින් දරුවන්ට බත් කැවීමට, හිවල් අං පෙන්වීමට දෙමාපියන්ට සිදුවී ඇත්තේ මේ නිසාය. සුප් කැටයෙන්, කොත්තුවෙන් පටන් ගත්තාම වෙළෙඳ පොළේ සැරිසරන බොහොමයක්සකස්කළ ආහාර වර්ග වල ඇති "ස්වාභාවික රසකාරක", "අනුමත රසකාරක","රස යාමනයන්", "වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය”, "ස්වාභාවික චිකන්”, මාළුරසය", "ආහාර පදම් කාරක", මේවායේද බොහෝ විට තිබෙන්නේ වසකාරක, වඳකාරක, පිළිකාකාරක බව නම් කිව යුතුය.

            කෝඩියල් බෝතලයයි, ලේයර් කේක් ගෙඩියයි අරන් සිංහල අවුරුද්දට නෑගම් යන අපේ කලේ අම්මලාට අපේ පැරණි කෑම බිම රසගුණ නැති වැදගම්මක් නැති ඒවා වී හමාරය. පැරැන්නන් ගමේ ගොඩේ හැදෙන වස විස නොයෙදූ කෑම බීම ජාති යහමින් අනුභව කළත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්වී ඇත. පැරැන්නන්ගේ දිවි රැකදීමට ඉවහල්වූ පෝෂණයේ අතිවිශිෂ්ටත්වය වූ රළු, ස්වාභාවික ආහාර කිසිදු වැදගැන්මකට නැති තුට්ටු දෙකේ ආහාර බවට පත්කර ඇත. එපමණකින් නොනැවතී "ස්වභාවික ආහාර අනුභවයෙන් සැඟවුණු පෝෂණ ඌණතාවයන් පවා ඇති විය හැකිය.." යනුවෙන් පැවසීමට තරම් වර්තමානය නිර්භය හා නිර්ලජ්ජිතවී ඇත. ඒකියන්නේ වඳභාවය, පිළිකාව පවා, පරම්පරාවෙන් පරම්පරාවට යන බව පවසමින් කිසිදු වග විභාගයකින් තොරව අප විසින් ගිල දමනු ලබන මොඩ් කෑම බීම වලට එක්කර තිබෙන මාරාන්තික රසායනික ද්‍රව්‍ය සහ පිළිකුල් සහගත ද්‍රව්‍ය සාධාරණිකරණය කිරීමට අප පෙළඹී ඇත.

            දෙල් ඇති කාලෙට දෙල් ගෙඩියක් බැදීමට, ගෙදර ඉතිරි වන බත් ටික වෙලා අග්ගල හැදීමට, කුරහන් හැලප ගෙඩියක් හැදීමට අද අම්මලාට හිත නොදෙන්නේ මොන වින්නැහියක් නිසා දැයි මට නොතේරෙයි. සකස්කරගන්නට කාලය වැයවන, රළු පරළු කැවුම්, කොකිස්‌, කිරිබත් යනාදිය, කොණ්ඩෙ බැඳපු චමින්දලාගේ, කෑම විදියට සලකන අපගේ කෑදරකට, දිව සහ හිත පිනවීමට නූතන ආහාර කර්මාන්ත කරුවන්ගේ වසකාරක, වඳකාරක, පිළිකාකාරක අද සමාජයට රජ බොජුන් වී හමාරය.

            බොහෝ දෙනෙක්කේක්‌, බිස්කට්‌, අයිස්ක්‍රීම්, පුඩින්, වටලප්පන්  ආදී කෑම වර්ග වලින් තම අවුරුදු කෑම මේස සරු නොකළොත් මහත් මදිපුංචි කමක්ලෙස සලකන්නට පුරුදුව සිටිති. දේශීය රසකැවිලි වලට ඖෂධීය ගුණයෙන් අනූන එනසාල්, වසාවාසි, සාදික්කා ආදී ස්වභාවික සුගන්ධකාරක එක්කළද, මේ විජාතික ආහාර තැනීමට භාවිත කළ යුත්තේ වැනිලා, ස්ට්රොබෙරි, ඇපල්, අන්නාසි ආදී කෘතිම සුගන්ධකාරකයන්ය. බෝතල් වල අසුරා වෙළෙඳ පොළේ විකිණීමටත් තිබෙන මේ සුගන්ධකාරක වර්ග වල තිබෙන්නේ ඇත්තම වැනිලා, ස්ට්රොබෙරි හෝ ඇපල් යෑයි විශ්වාස කරන පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු ඒවායේ තිබෙන පිළිකා කාරක සහිත කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන්ගේ ආදීනව නොදනිති.

            ඉස්සර අපේ ආච්චි අම්මා පාර අයිනේ වැටි ඇති ගොම බෙට්ටක් පාරෙන් අහුලා ගත් දෙල් කොළ දෙකකින් එකතු කර ගෙදර ගෙනවිත් මිදුලේ මිරිස් පැල වලට දමන අයුරු මට තාම මතකය. ඒ ඔවුන් ගොම් බෙට්ටක අගය දන්නා නිසාස.ඔපිස් ඇරී ගෙදර එන ගමන්, ටවුන් එකෙන් කැට පෝර පැකට් එක ගෙනවිත් දොරකොඩ මල් පඳුරට දමා මල් හැදෙන තුරු ඇඟිලි ගනින අපේ කාලේ දෝණිනැන්දලාට ඒවායේ ආදීනව තේරෙණ දාට පෙරහැර ගොස් හමාරය.

ජංගම දුරකතනයක් නාද වීමෙන් මම හිස එසවුවෙමි. පෙර කී තරුණියට කෝල් එකක් පැමිණ තිබුණි.

“හලෝ ඩාලිං, ඔයා කොහෙද ඉන්නේ ? මම මේ බබාව ඩාන්සින් ක්ලාස් එකට එක්කන් අවා.”

............................................................................

“ආ ඔයා එන ගමන්ද? මම බබාව අරන් ගෙදර එන්නම්, ඔයා පරිස්සමින් එන්නකෝ................බායි.....”

ආඩම්බර ලීලාවෙන් තරුණයා දෙස බැලු තරුණිය දුරකථනය විසන්දී කර බෑගයට දැමුවාය.

මට එක වරම සිතුනේ “දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.” යනුවෙනි.
                                                                                        

                                                                     මාවිසින් නිර්මිත දියදොර සගරාව වෙතට
                                                                                              අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂක

                                                                                   කමල් බුද්ධික සෙනරත්  සහෝදරයා ලබාදුන් ලිපියකි


Read More

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "